කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!

සාරාංශය

ශ්‍රී ලංකාවේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමට ප්‍රථම ප්‍රාදේශීය අධ්‍යාපන පරිපාලන කටයුතු දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල මගින් ක්‍රියාත්මක විය. එවකට දිවයින පුරා අධ්‍යාපන දිස්ත්‍රික් කාර්යාල විසි හතරක් පිහිටුවා තිබුණි. පරිපාලනමය වෙනස්වීම් හා පළාත් සභා ක්‍රමය යටතේ එක් එක් පළාතක් සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවීමත් සමගම මෙම දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල ක්‍රමයෙන් අහෝසි විය.

රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සකස් කරනු ලබන අධ්‍යාපන ප්‍රතිපත්ති හා ඊට අදාළ මග පෙන්වීම් මගපෙන්වීම පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීම මෙම පළාත් අධ්‍යාපන බලධාරීන් සතු කාර්යයකි. එහිදී තම පළාත තුළ අධ්‍යාපන වැඩසටහන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, ඇගයීම හා නියාමනය සිදු කිරීම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු වේ.

දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල අහෝසි වීමත් සමඟ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල පිහිටුවනු ලැබූ අතර 1987 වර්ෂය වන විට වන විට මෙරට කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල 94 ක්‍රියාත්මක විය. එක් කොට්ඨාශයක් සඳහා පාසල් 100 - 150 පමණ අයත් විය. මෙම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධාන ප්‍රධානියා ලෙස කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙකු පත් කරන ලද අතර, කොට්ඨාශයට අයත් පාසල් සංඛ්‍යාව පදනම් කරගෙන නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙම නිලධාරියාට සහාය වීම සඳහා පත්කර තිබුණි.

කළමනාකාරවරයකු අධීක්ෂක වරයෙකු අධ්‍යාපන සැලසුම් කරුවෙකු පාසල හා ප්‍රජාව අතර සම්බන්ධීකාරක වරයෙකු ලෙස කටයුතු කිරීමේ වගකීම කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ සතුවිය. එහෙත් අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කරලීම පරිපාලනමය හා කළමනාකරණය ශක්තිමත් කරලීම සඳහා ගන්නා ලද ප්‍රතිපත්ති තීරණ මත කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වලට වඩා සවි බල ගන්වන ලද කලාප අධ්‍යාපන කාර්යාල ක්‍රමය පද්ධතියට හඳුන්වා දෙන ලදී.

ඒ අනුව කලාප අධ්‍යාපන කාර්යාල ශක්තිමත් ඒකකයක් ලෙස පවත්වාගෙන යාම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු පත් කිරීමට අවශ්‍ය විය. වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකූලව පළාත් අධ්‍යාපන ලේකම් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මඟපෙන්වීම මත කලාප අධ්‍යාපන කාර්යාල ක්‍රියාත්මක වනු ලැබේ. කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය සබරගමුව පළාත් පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් යටතේ හා සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ. එවකට කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල මඟින් ඉටු කරනු ලැබූ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධන කටයුතු සියලුම අධ්‍යාපන පරිපාලන සහ ආයතන කටයුතු මෙම කලාප අධ්‍යාපන කාර්යාල වලට පවරා දෙනු ලැබුණි. එම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වලින් ඉටුකළ පරිපාලන කටයුතු හා සාමාන්‍ය පාලන කටයුතු ඉටු කිරීම පිණිස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් කිහිප කිහිපදෙනෙක් පත්කරනු ලැබිණි. වර්තමානය වන විට කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙකු, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් 18 දෙනෙකුගෙන් සවිමත් වී ඇත.

පෙර පැවති කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල අහෝසි කර කලාප කර කලාප අධ්‍යාපන කාර්යාල පිහිටවනු ලැබූ අතර එක් කලාප අධ්‍යාපන කාර්යාලයක් තුළ නව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල කිහිපයක් ස්ථාපිත කරන ලදී. ඒ අනුව කෑගල්ල කලාපය තුළ නව කොට්ඨාශ කාර්යාල හතරක් ස්ථාපනය ක් වූ අතර ඒවා

කෑගල්ල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය

ගලිගමුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය

වරකාපොල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය

දැදිගම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය

ලෙස නම් කරන ලදී. මෙම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල සඳහා කොට්ඨාශ භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වරයකු /සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙකු පත් කරන ලදී. එම කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පාසල් අර්ධ වාර්ෂික වාර්තා රැස්කිරීම සහ ගුරු උපදේශකවරුන්ට මගපෙන්වීම තම කොට්ටාශයේ පාසල් අධීක්ෂණය හා කලාප අධ්‍යාපන කාර්යාල කටයුතුවලට සහාය දීම යන කාර්යයන් කරනු ලැබේ. වර්තමානය වන විට අධ්‍යාපන පද්ධතිය තුළ කලාප කාර්යාල අනූ හතක් සහ කොට්ඨාශ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල 309 ක්‍රියාත්මක වේ.

සබරගමු පලාත තුල කලාප අධ්‍යාපන කාර්යාල හතක් සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 28ක් ක්‍රියාත්මක අතර පළාතෙහි අධ්‍යාපන පද්ධතිය පරිපාලනය හා කළමනාකරණය ප්‍රාදේශීය මට්ටමින් පවත්වා ගැනීමෙහිලා කලාප කාර්යාලයක් වශයෙන් අප කාර්‍යාලයට හිමිවන්නේ පළාතේ අද්විතීය ස්ථානයකි.

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගී ක්‍රියාවලියට අදාල කාර්යයන් වූ මූල කළමනාකරණය ආයතනික පරිපාලනය විනය පාලනය සැලසුම්කරණය මාර්ගෝපදේශකත්වය සැලසුම් ක්‍රියාත්මක කිරීම හා පාසල් අධීක්ෂණය වැනි කටයුතු රාශියක් කලාප අධ්‍යාපන කාර්යාල වෙත පවරන ලද අතර කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මෙය වන විට සබරගමුව පළාත තුල වඩාත්ම ක්‍රියාකාරී ප්‍රාදේශීය අධ්‍යාපන පරිපාලන ව්‍යුහය බවට පත්ව ඇත.

කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාල අධ්‍යාපනය ප්‍රතිලාභීන්ට වඩාත්ම සමීප, කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සපයන ප්‍රමුඛ ආයතනයක් ලෙස ආයතනය සතු වගකීම් හා වගවීම් ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීම පිණිස මෙම වෙබ් අඩවිය පරිශීලනයෙන් සේවාලාභී ඔබටත්, සේවා දායි අපටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.